Wednesday, October 4, 2023

මියන්ඩාඩ්

"1988 පකිස්තාන ටෙස්ට් තරගාවලියේ දී ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. නමුත් අපේ, දැඩි කැපවීම නිසා තරගාවලිය 1-1ක් ලෙස සමකරන්නට හැකිවුනා.. 

එම තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූයේ ඔවුන්ගේ නායකයා සහ විශිෂ්ට පන්දු යවන්නෙක් වූ ඉම්රාන් ඛාන් සහ සුපිරි පිතිකරු ජාවෙඩ් මියන්ඩාඩ්. දෙදෙනාම ශතක රැස්කළා මුල් තරග දෙකේදී ම... 

ඒ දවස්වල තමයි මම ජාවෙඩ් ගේ පිතිකරණ හැකියාව හොඳින්ම දැකගන්නට හැකිවුනේ. මට ජාවෙඩ් ගැන හිතුනේ රැවටිලිකාර පිතිකරුවෙක් හැටියට... 

ඔහුට ඒ දවස්වලත්, ඉන් පසුවත් හැකිවුනා මාව දිගින් දිගටම කෝපයට පත්කරන්නට.. 

සමහර පිතිකරුවෝ මට එරෙහිව ලකුණු රැස්කරන හැටි පිළිබඳව මට ලොකුවට හිතන්න යන්නේ නෑ, ඒ වගේ අවස්ථාවල මම, ඒක මට අභියෝගයක් කියලා හිතලා පන්දුයවන්නට හිතාගන්න නිසා.. 

නමුත් ටෙස්ට් තරග ක්‍රීඩා කරද්දී ජාවෙඩ් කියන්නේ, මීට හාත්පසින්ම වෙනස් පිතිකරුවෙක්. ඔහු හොඳින් යවන පන්දු සෑම එකකටම වගේ ලකුණු එක, දෙක සොරා ගන්නවා.. ඔහු විශිෂ්ට පිතිකරුවෙක්.. ඔහු අර්ධ ශතකය ට පිත්ත ඔසවන විට , අපිට හිතෙන්නේ මේ යකා කොහෙන්ද ලකුණු රැස් කළේ කියලා.. ඔහුට පන්දු යවන්නට මම බෙහෙවින්ම අකමැත්ත පළ කළේ එම හේතුව නිසා..."

- කර්ට්ලි ඇම්බ්‍රෝස්



එජ්බැස්ටන් සිට මැල්කම් ගෙන් පන්දු යැවීමේ පාඩමක්

බර්මින්ග්හැම් හි පැවති හතරවන ටෙස්ට් තරගය අපට වැදගත් වෙන්නේ කාරණා දෙකක් හින්දා.

1) අපි ඒ තරගයත් එක්ක 2-1ක් ලෙස තරගාවලියේ වැඩි වාසිය හිමි කරගත්තා.
2) මැල්කම් මාර්ෂල් අතිශය බුද්ධිමත් සහ විශිෂ්ට ආකාරයෙන් පන්දු යැවීම

ඔබට මැල්කම් වගේ විශිෂ්ටයෙක් ගෙන් පන්දු යැවීම ගැන ඉගනගන්න බැරි නම් ඔබ පන්දු යැවීමෙන් පලක් නෑ...

ඒ වෙද්දී මැකෝ අපිට හිටපු විශිෂ්ටතම පන්දු යවන්නා වගේම, අපේ පන්දු යැවීමේ බල ඇණියේ නායකත්වය හිමිවුනේ ඔහුට..

මම කලින් කිව්වා වගේ මැකෝ පන්දු යැවීමේ ශිල්පය විශිෂ්ට ආකාරෙයෙන් ප්‍රගුණ කරලා තිබුණා..

මම මිඩ් ඔෆ් වල පන්දු රකින සෑම වෙලාවකම මැකෝ, පන්දු යවන්න පෙර ඔහු දැන් මොන ආකාරයට පන්දු යවන්නේ කියලා, මට දැනුම් දෙනවා.. ඉන් පසුව කිසිදු වෙනසක් නැතුව, ඔහු පැවසූ ආකාරයටම ඔහුට පන්දු යවන්නට හැකියාව තිබුණා.. ඒ මැකෝ ඔහු දැන ගෙන සිටි සෑම ශිල්පයක්ම අපිට සජීවීව පෙන්නුම් කළ ක්‍රමය. ඔහු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රියා කළේ ඒ අයුරින්..

එජ්බැස්ටන් හි මේ හතරවන ටෙස්ට් තරගයේ දී මැකෝ පන්දුව දෝලනය කර හෝ පන්දුවේ සීමය පතිත කරමින්, දිගටම පන්දු යවන්න පටන් ගත්තා.. එවිට පිතිකරණයේ යෙදී සිටි ග්‍රෙහැම් ගුච් ට පන්දුවට පහර දීමට පවා නොහැකි වුනා.. ඔහුගේ පන්දු එතරම් අසීරු යි.. මම ඔහුගේ පන්දු යැවීම ගැන නරඹන අතරතුර මගේ අවස්ථාව ලැබෙන තෙක් ඇඟිලි ගනිමින් සිටියා...

එකවරම ඔහු හැරී මා දෙස බලා, "ඇම්බී, මම මේ හාදයාව දවාගන්නේ කොහොමද කියලා දන්නවා ද ?"

"කඩුල්ල පසුපස උඩපන්දු රැකීමක්, බොහෝවිට ස්ලිප් පන්දු රකින්නන් වෙතට" මම ක්ෂනිකව පිළිතුරු දුන්නා..

"නෑ........" මැකෝ මට එලෙස පැවසුවා..

'ගුච් ට වැටෙන පන්දුව කොයිවෙලේ හරි පිත්ත අග්‍රයේ වැදිලා පිටිපස්සට යන්න අවස්ථාව වැඩියි, මැකෝ ට පිස්සුද මන්දා, මෙහෙම නොවෙන්න විදිහක් නෑ..' 

මම, මැකෝ ගේ පිළිතුර ගැන හිතුවේ එහෙම...

"මට මේ මනුස්සයා එහෙම දවාගන්න බෑ.. පන්දුව සෑහෙන්න දෝලනය වනවා, මට මේ මනුස්සයා දවාගන්න පුළුවන් පන්දුව කෙලින්ම කඩුල්ලේ ගැටෙන විදිහට විතර‍යි, ගුච් බලාපොරොත්තු වෙන්නේ මං දිගින් දිගටම කඩුල්ලෙන් එපිටට පන්දුව දෝලනය කරයි කියලා, මං එයාට කඩුල්ල තුළට පන්දුව යොමු කරනවා"  මැකෝ එලෙස මට පැවසුවා..

පන්දු කිහිපයකට පසු, මැකෝ කියපු විදිහටම කඩුල්ල තුළට පන්දුවක් යොමු කළා, ගුච් ඩ්‍රයිව් කිරීමකට උත්සහ කළා, පිත්ත සහ පා ආවරණය තුළින් පන්දුව කඩුල්ලේ ගැටී, ග්‍රෙහැම් ගුච් දැවී ගියා..

- කර්ට්ලි ඇම්බ්‍රොස්



Not even god could play that

ඕස්ට්‍රේලියානු වේග පන්දු ද්විත්වයෙන් "තොමෝ" ලොකු වෙනසක් කළා.. 

අපි දැනන් හිටියා ලිලී කියන්නේ වේගවත් වගේම විශිෂ්ට පන්දු යවන්නෙක් කියලා, හැබැයි තොම්සන් ට පුළුවන් වුනා, එයට අමතර දෙයක් එකතු කරලා පන්දු යවන්න..

ඒ තමයි "ශරීරයට අනතුරක් විය හැකි බවට ඇතිවෙන බියකරු සිතුවිල්ල"

ඔහු තරම් වේගයෙන් පන්දු යවන පන්දුයවන්නෙක් මම දැකලා නෑ...

ඔහුගේ ස්ලින්ගින් පන්දු යැවීමේ ශෛලිය සහ ඔහුගේ ශක්තිමත් භාවය, පන්දු යැවීමේ දී කස පහරකට සම කළ හැකියි...

වරක් ඇඩ්ලේඩ් හි දී තොම්සන් ගේ කෙටි පන්දුව ලෝරන්ස් රෝ ගේ අත් ආවරණය ගැලවී පළමු ස්ලිප් පන්දු රකින්නා වෙතට විසිවී යන්නට තරම් දරුණු වුනා...

ලෝරන්ස්, ක්‍රීඩාගාරයට ඇවිල්ලා කිව්වේ,

"දෙවි කෙනෙකුට වත් ඒ පන්දුවට පහරක් එල්ල කරන්න බෑ (Not even god could play that)" කියලා..

- මයිකල් හෝල්ඩින්



ලොව විශිෂ්ටතම පන්දුවාරය

'හතරේ සීමාව අසළ දක්වා විහිදී ගිය ගැල්වනයිස් කළ වහළය අතරින් රිංගා සීමිත ඉඩක් තිබූ ප්‍රේක්ෂකාගාරයට මිනිසුන් දිව ගියා..

මේ, එංගලන්තය සමඟ පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයයි. ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ අපට හැකිවුනේ ලකුණු 265ක් රැස් කර සෑහීමකට පත්වන්නට..

බ්‍රිජ්ටවුන් කෙන්සිංටන් ඕවල් හි පැවති මෙම තරගය නැරඹීමට ඒවන විටත් පහලොස් දහසකට අධික ප්‍රේක්ෂකයින් පැමිණ සිටියා..

තම මවුබිමේ දී ම එංගලන්ත පන්දු යවන්නන් ට එරෙහිව කොදෙව් පිතිකරුවන් සාර්ථක නොවූ නිසා අප පන්දු යවන්නන් හතරදෙනා පන්දු යැවීමෙන් ප්‍රතිවාධින් මෙල්ල කරන සැටි සජීවීව නැරඹීමට ඔවුන් නොඉවිසිලිමත්ව සිටියා..

පික්වික් අන්තයේ ක්‍රීඩාගාරයේ සිට අප පිටියට පැමිණීමට සූදානම් වන අතරතුර නායක ක්ලයිව් ලොයිඩ් පැමිණ මගේ උරහිසට තට්ටු කළා..

"මිකී, උඹ මොන අන්තයද තෝරගන්නේ (පන්දු යැවීමට) ?"

මුල්ම වතාවට මට පන්දු යවන අන්තය තෝරාගන්න අවස්ථාව ලැබීම , මා බලාපොරොත්තු නොවූ දෙයක්.. 

සාමාන්‍යයෙන් මුල්ම පන්දුවාරය යවන්නේ ඇන්ඩි රොබර්ට්ස්, ඒ නිසා මාගේ පිළිතුර වූයේ , 'ඇන්ඩි යවන්න අකමැති අන්තය මට දෙන්න"

සෑම තරගයකම පාහේ, ඇන්ඩි රොබර්ට්ස්, කොදෙව්වන් වෙනුවෙන් මුල්ම පන්දු වාරය යැවිය යුතු බව මමත් අනිත් ක්‍රීඩකයෝ සියල්ලමත් පිළිගන්නා කාරණාවක්.. 

දෙවන පන්දුවාරය මට යැවීමට දැඩි උවමනාවක් තිබුණා. ක්ලයිව්, මා අසළට පැමිණ පන්දුව ලබා දුන් අතර මා පන්දු යවන්නට නියමිත අන්තය වූයේ ජෝර්ජ් චලෙනර් ප්‍රේක්ෂකාගාර යි.

අඩු ලකුණු ප්‍රමාණයක් රැස් කළ අපට ප්‍රේක්ෂකාගාරයේන් දිගින් දිගටම එල්ලවෙන පීඩනය නිසාවෙන් මට මේ ඉනිමේ විශාල වෙනසක් සිදු කළ හැකි බවට ලොකු විශ්වාසයක් තිබුණා..

"උඹට තියෙන්නේ උපරිම වේගයෙන් පන්දු යවන්න, බය වෙන්න එපා, උඹට මම පන්දුවාර තුනක් හෝ හතරක් විතරයි දෙන්නේ", ක්ලයිව් පන්දුව ලබා දෙද්දී මෙලෙස පැවසුවා..

කෙන්සිංටන් මාගේ ප්‍රියතම ක්‍රීඩා පිටි වලින් එකක්, පන්දුව ඉපිලීමට වගේම වේගයෙන් යැවිය හැකි නිසා, එංගලන්ත පිතිකරුවන්ට වේග පන්දු පාඩමක් ඉගැන්විය හැකි බවට මට තේරුම් ගියා..

සාමාන්‍යයෙන් මගේ පන්දු යැවීමේ ශෛලිය වන්නේ මුල් පන්දුවාර කිහිපය තුළ නිසි දිශාව සහ එල්ලය සොයා එයින් පිතිකරුවා අඩපණ කර, ක්‍රම ක්‍රමයෙන් පන්දු යැවීමේ වේගය වැඩි කිරීමයි. ඒ වගේම වෙනත් ක්‍රමවේද අත්හදා බැලීමයි..

නමුත් මේ ඉනිමේ දී මට ලැබුණු උපදෙස මුල්ම  පන්දුවේ සිට පිතිකරුවා, වේගයෙන් පන්දු යවා මෙල්ල කිරීමයි. එයත් ආරම්භක පිතිකරු ජෙෆ්‍රි බොයිකොට් ට එරෙහිව. 

ජෙෆ්‍රි බොයිකොට් පිතිකරණයේ දී අතිශය ඉවසිලිමත් සහ පිතිකරණ දුර්වලතා අතිශය අවම පිතිකරුවෙක්..

එංගලන්තයේ දී පෙර පැවති තරගාවලියේ දී බොයිකොට් ට එරෙහිව පන්දු යැවීමට මට හැකිවුණා.. ඔහුට පන්දු නොයැවිය යුතු ආකාරය පිළිබඳව මට ඉක්මනින්ම තේරුම් ගියා..

ඔහුට පන්දු යවන දිශාව ඉක්මනින් විනිශ්චය කළ හැකියි.. ඉන්නෙන් එපිට යවන ඕනෑම පන්දුවකට ඔහු පහරක් එල්ල නොකර එය නිදැල්ලේ යාමට ඉඩ හරියි..

ඒ කියන්නේ ඔහු දවාගත හැකි එකම ක්‍රමය, ඉන්නට ඉතාමත් ආසන්නයෙන් පන්දුව‍ යවා හෝ කෙලින් පන්දු යවා ඉන්නෙන් එපිටට පන්දුව දෝලනය කිරීමෙන්..

ට්‍රෙන්ට් බ්‍රිජ් හි දී ත් පෙර පැවති ක්වින්ස් පාර්ක් ඕවල් ටෙස්ට් තරගයේ දී ත් මා මේ ක්‍රමය භාවිතා කර තරමක් සාර්ථක වූ නමුත් මේ අවස්ථා වලදී පිත්ත අග්‍රයේ වැදී ගිය පන්දුව, පන්දු රකින්නන් රැකගත්තේ නෑ...

ජෙෆ්‍රි බොයිකොට් ට පන්දුව යැවිය යුතු ආකාරය මම මනසින් තීරණය කර අවසන්...

සෑම තරගයකටම පෙර මා පිටියේ සකසන නිලධාරියා සමඟ කතාබහ කිරීමට පුරුදුව සිටියේ, තරගයට පෙර සූදානමක් වශයෙන්... 

බාර්බඩොස් කෙන්සිංටන් පිටිය භාරව සිටි ටොමී පියර්ස් මා හට අපූරු කරුණක් හෙළි කළා..

මින් පෙර පැවති 1968 සහ 1974 ටෙස්ට් සංචාර අතර තුර කෙන්සිංටන් පිටියේ ජෙෆ්‍රි බොයිකොට් ද්විත්ව ශතක රැස් කළ බවත්, එම කාලය තුළ තණතීරු මත තණකොළ අවම වීමත් පිතිකරණයට වඩාත් සුදුසු වීමත් බොයිකොට් ගේ සාර්ථකත්වයට හේතු වූ බව.

මෙවරත් එවැනි තණතීරුවක් බලාපොරොත්තුවෙන් පැමිණි ජෙෆ්‍රි බොයිකොට් ට මෙම තරගයට පෙර දිනයේ සවස් කාලයේ තණතීරුව දැක පුදුම වී තිබෙනවා..

"මේ මොකද්ද මේ ?.... කොහොමද මෙහෙම සම්පූර්ණයෙන් කොළ පාට වුනේ ?"

මම එයාට, "කැරිබියන් වල තණකොළ කොළ පාටයි" කියලා කියද්දී මිනිහගේ මූණ රතු වුනා.. 

ටොමී පියර්ස් ගේ මේ හෙළි කිරීම , මට මානසිකව ලොකු සහනයක්..

මම මගේ මුල්ම පන්දුවාරයේ මුල්ම පන්දුව යවන්නට දිව ගියා, මගේ මුල්ම පන්දුව පිට ඉන්නට අඟල් කිහිපයක් එපිටින් පිතිකරුවාට, පිත්තේ ගැටී දෙවන ස්ලිප් ක්‍රීඩකයා අසළ පන්දුව පතිත වුනා..

එවෙලේම මගේ ආත්ම විශ්වාසය වැඩි වුනා. මගේ සැලසුම් සාර්ථක වන බවට හැඟුණා... සාමාන්‍යයෙන් මගේ මුල්ම පන්දුවාරයේ දී මෙවැනි හැඟීමක් ඇතිවෙන්නේ නෑ...

මගේ ඊළඟ පන්දුව පිතිකරුවා පසු කර කඩුලු රකින්නා වූ ඩේවිඩ් මරේ ගේ අත් ආවරණ වෙතට..

මගේ පස්වන පන්දුව කෙටි පන්දුවක්, එය ජෙෆ්‍රි බොයිකොට් ගේ උගුරු දණ්ඩ (Adam's apple) අසළට, බොයිකොට් කෙසේ හෝ පිත්තෙන් ආරක්ෂා කරගත් අතර පිත්තේ වැදී පන්දුව ගලි ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි ජොඑල් ගාර්නර් අසළ පතිත වුනා..

මා යවන සෑම පන්දුවකටම පෙර සහ පසු ප්‍රේක්ෂකාගාරයෙන් නොනවතින කෑගැසීම්... 

බොයිකොට් ට ඉතා අපහසු පන්දු 5ක් යොමු කිරීමෙන් පසු තවමත් ඔහු පිතිකරණයේ යෙදෙන නිසා ඔහු බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ අවසන් පන්දුවක් ද යන්න මා සිතමින් නැවත පන්දු යැවීම ආරම්භ කරන ස්ථානය වෙත ඇවිද ගියා..

මා ඔහුට නැවතත් කෙටි පන්දුවක් යොමු කරන බවට ඔහු නිසැකවම සිතනවා ඇති..

පන්දුවාරයේ අවසන් පන්දුව යැවීමට මා දිව ගියා, පිට ඉන්න ඉලක්ක කරමින් Full length වෙතට පන්දුව යොමු කළා..

ඔහු එම පන්දුව වෙතට පැමිණියේ නෑ, පන්දුව තරමක් දෝලනය වී ඔහුගේ පිත්ත අසළින් පසුකර ගියා...

එකවරම ප්‍රේක්ෂකාගාරය ඝෝශාකාරී ලෙස අසුනෙන් නැගිට සමරන්නට පටන් ගත්තා....

කඩුල්ලේ කෙලින්ම පන්දුව ගැටී ජෙෆ්‍රි බොයිකොට් දවාගැනීම අතිශය අපහසු යි. ඔහුගේ පිට ඉන්න ගැලවිය හැකි බවට මා සිතුවේ නෑ. ඔහු දැවී යන ආකාරය මට තත්පර කිහිපයක් යනතුරු නිරීක්ෂනය වූයේ නෑ.. එයට හේතුව ඔහුගේ පා ආවරණ, කඩුල්ල වසා ගෙන තිබීම නිසා..

මට සිදුවු දේ පිළිබඳව නිවරැදිව තේරුම් ගියේ එකවරම ඩෙස්මන්ඩ් හේන්ස් දිවවිත් මට සතුට පළ කරන්නට පැමිණි අවස්ථාවේ දී..

මා නැවත ෆයින් ලෙග් හි පන්දු රකින්නට ගිය විට, අප ප්‍රේක්ෂකයින් වගේම තරගය නැරඹීමට පැමිණි එංගලන්ත ජාතිකයින් මා අසළට පැමිණ අතට අත දී ආචාරය පළ කළා...'

..................................................
පසු කළක ජෙෆ්‍රි බොයිකොට් මේ සිදුවීම පිළිබඳව පැවසුවේ මේ අයුරින්,

"all thought he was just good but i made him great"

- මයිකල් හෝල්ඩින් - the Whispering Death

Sunday, July 30, 2023

MCG ය කැළඹෙයි

රිකී පොන්ටින් මට පන්දුව ලබාදෙද්දි එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 82 යි.

පෝල් කොලින්වුඩ් (11*) සහ ඇන්ඩෲ ස්ට්‍රවුස් (48*) ඒ වනවිටත් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ස්ථාවර වී ඇති බව මට හැඟුනා.

මුලින්ම මගේ ජම්පරය විනිසුරුවරයාට ලබා දී මගේ ඇඟිලි දිග හැර පන්දුව පහසුවෙන් ග්‍රහණය කිරීමට උත්සහ කළේ, MCG ය එදා සීතල කාළගුණයකින් පැවතීම නිසයි.

විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ මට මේක කරගන්න පුළුවන් වෙයි ද කියන දේ හිතලා හිතලා වෙනදටත් වඩා එදා මම සෑහෙන්න කලබලෙන් හිටියේ.

පළමු දිනය නිසා එදා පන්දුව වැඩිය දඟ කැවෙන්න ගත්තේ නෑ. ඒ වගේ අවස්ථාවක පන්දුවේ වේගය, යොමුකරන දිසාව වැනි මූලික දේවල් වෙනස් කර කර කඩුල්ලක් දවා ගැනීමට මම උත්සහ කළත් කොලින්වුඩ් සහ ස්ට්‍රවුස් දෙදෙනාම මගේ පන්දුවට වැඩි ලකුණු ගණනක් රැස්කරන්න උත්සහ කරන බව මට හැඟුනා.

අවදානමක් ගත යුතු නිසාම මම පන්දුවේ වේගය තවත් අඩු කර එය දඟ කවන්නට උත්සහ කලා, පිතිකරුවන් දෙදෙනාම විස්මයට පත්වුනා. ඔවුන් දැන් උත්සහ කරන්නේ එම පන්දුවලට ස්විප් පහරක් එල්ල කර ලකුණු රැස් කිරීමයි.

ස්ට්‍රවුස් ගහද්දි පා ඉන්න පෙදෙසේ පන්දු රකින්නො ස්ථානගත කරලා, ස්ට්‍රවුස් ට ඉදිරිපාදයෙන් ඩ්‍රයිව් කරන්න ඉඩ දෙමු කියලා, මම වහාම පොන්ටින් ට පැහැදිලි කළා. 

පොන්ටින් මෙම අදහසට එකඟ වුනා. මිඩ් විකට් හි සිටි පන්දුරකින්නා ස්ක්වෙයාර් ලෙග් ප්‍රදේශයට සහ පිටුපසින් අංශක 45ක කෝණය (පා ඉන්න පෙදෙසෙන්) ආවරණය වනපරිදි පන්දු රකින්නෙක් (පිත්තේ අග්‍රයේ ගැටි ඉහළට යන පන්දු රැක්ගැනීමට) ස්ථානගත කළා.

ඉතාම වැදගත්ම කරුණ තමයි. අපි මේ වෙනස්කම් කළේ ස්ට්‍රවුස් ට ඇසෙන පරිදි යම් දුරක් සිට යි. මට තියනවා අපූරු ශක්තියක්. මෙවැනි අවස්ථාවක සිදුකරන්න ඕන දේ ගැන මට පූර්ණ අවධානය යොමුකරන්න පුළුවන් (Getting in to the Zone). එවැන්නක දී, මානසික ඒකාග්‍රතාවය බිඳවට්ටන්නේ නැතුව අවශ්‍යය ඉලක්කයට යන්න පුළුවන්. එදා, ස්ට්‍රවුස් ඉදිරියේ මම ක්‍රියාකළේ එලෙසමයි. 

මගේ අදහස වුනේ, පන්දුවේ වේගය අඩාල කර, ගුවනේ පා කර, පිට ඉන්න ට එපිටින් පන්දුව පතිත කර ස්ට්‍රවුස් ට ඩ්‍රයිව් කිරීමට ඉඩ ලබාදීමයි. 

මම ස්ට්‍රවුස් ට පන්දු කිහිපයක් පතිත කළේ ස්විප් පහරක් එල්ල කිරීමට නොහැකි වන අයුරින් පිතිකරණ සීමා ඉරට එපිටින් තරමක් දුරින්. ස්ට්‍රවුස් ට ලකුණු රැස්කිරීමට නොහැකි නිසා ඔහු කේන්තියට පත්වූ බව මම නිරීක්ෂනය කළා. 

පන්දුවාර දෙකක් තිස්සේ මෙම සටන පැවැතුනා. ඉන්පසු මම තීරණය කළා, මේ කඩුල්ල ලබා ගැනීමට හොඳම වෙලාව බව. මම පන්දුව තරමක් ඉහළට පාවී පතිත වන සේ පා දඟ පන්දුවක් යොමු කළා. ස්ට්‍රවුස් ඉදිරි පාදයට පැමිණ මිඩ් ඕන් ප්‍රදේශයට ඩ්‍රයිව් කරන්න උත්සහ කළත්, පන්දුව දඟ කැවී මැද ඉන්නේ ඉහළ කොටසේ ගැටුනා.

ස්ට්‍රවුස් දැවී ගියත්ම, MCG ප්‍රේක්ෂකයින් උද්දාමයට පත්වුනා. ඔවුන්ගේ ශබ්දය විස්මජනකයි. එය මගේ අවුරුදු 23ක ක්‍රිකට් දිවියේ කවදාකවත් අමතක කරන්න බැරි සිදුවීමක් වේවී. 

තවමත් මගේ සඟයින් හමුවෙද්දී මතක් කරන්නේ, "උඹට මතකද අර "බොක්සින් ඩේ" ටෙස්ට් තරගයේ උඹ 700 වෙනි විකට් එක ගනිද්දි, ග්‍රවුන්ඩ් එකේ කෑගැහිල්ල ?"

"Do you remember boxing day when the crowd erupted and you got 700 ? How bloody loud was that!"





Friday, August 12, 2022

ගල්, මුල් පසු කර නසාර් රැස්කළ විශිෂ්ට ශතකය...... |

|
"ඔහු මාගේ හෝටල් කාමරයට පැමිණ ඇසුවේ, ඔහුගේ දුර්වල පිතිකරණය, කණ්ඩායමේ අන් අය සිතන්නේ කෙසේදැයි යන්නයි. මගේ පිළිතුර වූයේ කණ්ඩායමේ හැමෝම ඔහුගේ පසුපසින් සිටිමින් ඔහුට පූර්ණ දායක්ත්වය සපයන බවයි". 

මෙසේ පවසන්නේ මයිකල් ඇතර්ටන්... 2001 වසරේ ශ්‍රී ලංකාවට එරෙහි මුල්ම තරගයේ දී එංගලන්ත පිලේ නායක නසාර් හුසේන් ලකුණු 1කටත්, 3කටත් දැවී ගියේ මුත්තයියා මුරලිදරන් ගේ දඟ පන්දුව හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්...

එම තරගයට පෙර නසාර් හුසේන්, ඉනිම් 19කදී අර්ධ ශතකයක් රැස්කර තිබුනේ එක් වතාවක දී පමණයි. ඔහුගේ නායකත්වය, මයික් බ්‍රියර්ලි ට පසුව එංගලන්ත කණ්ඩායමේ දක්ෂතමයා ලෙස සැලකුම් ලැබුවත් දිගින් දිගටම ඔහු පිතිකරණයෙන් අසාර්ථක වීම නිසා ඔහුට කණ්ඩායමේ ස්ථානයක් ලබාදීමට සුදුසු දැයි යන ප්‍රශ්නාර්ථය මතුව තිබුනා.

මුරලි හමුවේ නසාර් නැවත අසාර්ථක වීමත් එම තරගය එංගලන්තය පරාජය වීමත් නිසා නසාර් ගේ මානසිකත්වය අතිශය ව්‍යාකූල තත්ත්වයක පසුවුනා. ඇතර්ටන්, නසාර් ට පරණ තරගයක් ආවර්ජනය කළා...

"උඹට මතකද 87 දී අපි අස්ගිරියේ දි ගහපු දෙවන තරගය (එංගලන්ත ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරගය). උඹ ගහපු ලකුණු 100 නියම සටන්කාමී ඉනිමක්"

හුසේන් ට එම තරගය මතකයට නැගුණා... ඔහු, එම හෝටලයේ අවන්හලට ගොස් කෝලා පානය කර සිගරැට්ටුවක් දල්වා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත ඊළඟ තරගය පිළිබඳව කල්පනා කළා...

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය ආරම්භ වීමෙන් අනතුරුව තේ පානය සඳහා තරගය නතර කරන විට, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 216/4 යි. එවකට යොවුන් පිතිකරු මහේල ජයවර්ධන ගෙන් අගනා ශතකයක් වාර්තාවී තිබුනත් මුල්ම තරගයේ දී එංගලන්තයට අවාසිදායක තීරණ ලබාදුන් ශ්‍රී ලංකා විනිසුරුවරුන් දෙවන ටෙස්ට් තරගයේ දී එංගලන්තයට වාසිදායක වන තීරණ ලබා දීම කැපී පෙණුනා. 

තේ පානයෙන් අනතුරුව ඇන්ඩි කැඩික් සහ ඩැරන් ගෆ් ශ්‍රී ලංකා පිලේ ඉතිරි කඩුලු සියල්ලම බිඳ දැමුවා. ශ්‍රී ලංකා ඉනිම 297/10යි. එංගලන්ත ඉනිමේ ආරම්භය නැවතත් අසාර්තක වෙමින් ඇතර්ටන් දැවී ගිය අතර, ඉන් අනතුරුව පිටියට පිවිසියේ දකුණත් පිතිකරු නායක නසාර් හුසේන්. 

මෙවර හුසේන්, මුරලිට මුහුණ දීමට තීරණය කළේ වෙනස්ම ආකාරයකට යි. පා ආවරණය ඉදිරියට දමා පන්දුව කඩුල්ලට පැමිණීමෙන් අවහිර කිරීම හෝ පන්දුවට වැරෙන් පහර දීම, ඔහුගේ උපාය වුනා...

හුසේන් ගේ පිත්තේ දාරයේ ස්පර්ශය වී දෙවරක්ම පන්දුව රැකගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් සමත් වූවත්, විනිසුරු බී.සී කුරේ, එය නොදැවීම් ලෙස සංඥා කළා...

එම තීරණ වල වාසිය තමන්ට හරවා ගනිමින් නසාර් හුසේන්, විශිෂ්ට ශතකයක් රැස් කළ අතර තරගය නරඹමින් සිටි එංගලන්ත ක්‍රීඩකයින් දෙස අත දික් කර ඔහුට සහයෝගය ලබාදීම පිළිබඳව කෘතඥතාවය පල කළා... 

එය නසාර්, මාස 15කට පමණ පසු ටෙස්ට් ශතකයක් රැස්කළ මුල්ම අවස්ථාවයි. නසාර් ට මෙය අතිශය වැදගත් වූයේ මෙම ඉනිම නිසා ඔහුගේ ටෙස්ට් දිවිය තවත් දීර්ඝ වීමත්, එංගලන්තය මෙම තරගය ජයග්‍රහණය කිරීමත් නිසා. එමෙන්ම නසාර් පවසන පරිදි මෙය ඔහු රැස්කළ අපහසුම ශතකය යි.

ඉන් පසු ? - එංගලන්තය තෙවන ටෙස්ට් තරගයත් ජයග්‍රහණය කර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ දී තරග 2-1ක් ලෙස තරගාවලිය ජයගත්තා. සනත් ජයසූරියට එරෙහිව ලබදුන් දුර්වල තීරණයෙන් කෝපයට පත් සනත්, ක්‍රීඩාගාරයට යන අතරතුර තම හෙල්මටය විසි කළ අතර එම හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් 60%ක දඩයක් සහ අත්හිටවූ තරග 4ක තහනමක් හිමිවිය. 




- Aqeeb


Saturday, June 19, 2021

ලාබාල ක්‍රීඩකයින් සමඟ තරගය බේරාගත් වෙස්ලි කොලීජියේ නායකයා

පාසල් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ අපූරු සිදුවීමක් පිළිබඳව හිටපු වෙස්ලි කොලීජියේ නායක එඩ්මන්ඩ් දිසානායක පුවත්පතකට මෙසේ හෙළි කළා...

රේල්වේ ක්‍රීඩාංගණයේ පැවති වාර්ෂික රාජකීය වෙස්ලි ක්‍රිකට් ගැටුමේ උද්වේගකර අවස්ථාවක් 1946 වසරේ පෙබරවාරි මස 8 වන දා වාර්තා වුනා. 

පළමු දිනයේ දීම වේගවත් පිතිහරඹයක නිරතවූ රාජකියයන් කඩුලු 5ක් දැවී ලකුණු 312ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවන්නට එවකට රාජකියයේ මහේෂ් රොද්‍රිගෝ තීරණය කළා. එයට, වෙස්ලි කොලිජියේ නායක එඩ්මන්ඩ් දිසානායක විරෝධය පළ කළේ ඔවුන් මිනිත්තු 5ක් ප්‍රමාදව ඇති බව පවසමින්.

එම කාල වකවානුවේ එංගලන්තයේ මාලිබෝන් ක්‍රීඩා සමාජය විසින් නව ක්‍රිකට් නීතියක් සම්පාදනය කර තිබුනා. මුල්ම දිනයේ දී ප්‍රතිවාධි කණ්ඩායමට මිනිත්තු 90ක් හෝ අවම වශයෙන් පිතිකරණයට අවස්ථාවක් ලබා නොදී කිසිදු කණ්ඩායමකට තම ඉනිම අත්හිටුවන්නට ඉඩකඩක් තිබුනේ නෑ.

ඒ අනුව රාජකියයන් ඉනිම අත්හිටුවන විට ඔවුන් මිනිත්තු 5ක් ප්‍රමාදව තිබුනා. එම නිසා ඒවනවිට පිතිකරණයේ යෙදෙමින් සිටි මහේෂ් රොද්‍රිගෝ තම ඉනිම අත්හිටුවා අන් පිතිකරුවන්ට අවස්ථාව ලබාදීමට තීරණය කළේ දිනය නිමාවීමට පෙර වෙස්ලි ක්‍රීඩකයින්ට කෙසේ හෝ පිතිකරණය සඳහා අවස්ථාව ලබාදීමට යි. 
මහේෂ් රොද්‍රිගෝ

ඒ අනුව මහේෂ් ගේ ඉවත්ව යාමෙන් පසු පිතිකරණයට පැමිණි ඇෆ්. ඊ. පොරිට් එක් පන්දුවකට මුහුණ දී තම ඉනිම නිමාකරන්නට සුදානම් වූවත් විනිසුරුවරුන් එම ක්‍රියාවට විරෝධය පළ කළා. පිතිකරුවෙකු ඉනිම අත්හිටුවීමට නම් අවම වශයෙන් එක් පන්දුවාරයකටවත් මුහුණ දිය යුතු බව විනිසුරුවරුන් රාජකියයන්ට පැවසීම නිසා ඔවුන්ගේ ඉනිම අවසන් කිරීමට අමතර කාලයක් ගත විය. මෙය ලාබාල ක්‍රීඩකයින්ගෙන් 8 දෙනෙකුගෙන් සමන්විත වෙස්ලි කොලීජියට  වැඩි වාසියක් ගෙනදුන්නා (එම ක්‍රීඩකයින් 8ම වයස අවුරුදු 16න් පහළ වුනා). එම ලාබාල ක්‍රීඩකයින් අතර 7 වන ශ්‍රේණියේ සිසුවෙකු වූ විවිල් ඩයස් ද සිටියා. 

රාජකියයන්ගේ ඉනිම අවසන් වන විට ඔවුන් ලකුණු 317ක් රැස්කරගෙන සිටියා. ජී.ටී. කපුකොටුව ලකුණු 81ක්, ජී.ඇල්.ජී කුරේ ලකුණු 78ක්, ඇම්. කාසිපිල්ලෙයි ලකුණු 69ක්, පර්සි ගුණවර්ධන ලකුණු 46ක් රැස්කරමින් රාජකීය ඉනිම ශක්තිමත් කළා. 

දිනය අවසන් වීමට පෙර පැයක කාලයක් වෙස්ලි ක්‍රීඩකයන්ට පිතිකරණය සඳහා අවස්ථාව හිමිවුනා. බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු දල්වාගෙන සිටියේ වෙස්ලි ක්‍රීඩකයින්ගේ කඩුලු එකපිට දැවී යාම දැකගත හැකිවනු ඇති බවටයි. නමුත්, එඩ්මන්ඩ් දිසානායක ප්‍රමුඛ වෙස්ලි ක්‍රීඩකයින් එම දිනය අවසන් වනවිට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 50ක් රැස්කර තිබුණා. නායක එඩ්මන්ඩ් තම මුල්ම ලකුණ රැස්කිරීමට මිනිත්තු 30ක් බලාසිටින්නට සිදුවුනා. ඔහු එම ලකුණ රැස්කරන විට රාජකීය ප්‍රේක්ෂකයින් අත්පොලසන් දීම  අපූරු සිදුවීමක්. නායක එඩ්මන්ඩ් සමඟ අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදුනේ ලාබාල විවිල් ඩයස් ය. 

දෙවන දින එනම් පෙබරවාරි මස 9වන සෙනසුරාදා දින වෙස්ලි ක්‍රීඩකයන්ගේ අවසන් කඩුල්ල බිඳ වැටෙන විට ඔවුන් ලකුණු 167ක් රැස්කර තිබුණා. නායක එඩ්මන්ඩ්, වෙස්ලි කණ්ඩායමේ නැංගුරම වෙමින් විශිෂ්ට ලකුණු 107ක් රැස්කළේ හතරේ පහරවල් 16කින් ඉනිම වර්ණවත් කරමින්. 
එඩ්මන්ඩ් දිසානායක - Image courtesy: Daily News

දෙවන ඉනිම සඳහා නැවතත් පිතිකරණය සඳහා පැමිණි වෙස්ලි ක්‍රීඩකයින් ජය පරාජයකින් තොරව තරගය නිමාකරගන්නට විශිෂ්ට ලෙස කඩුලු ආරක්ෂා කරමින් පිතිකරණයේ යෙදුනා. වෙස්ලි කොලීජියේ දෙවන ඉනිම 172/7ක්. 14 හැවරිදි විවිල් ඩයස් දෙවන ඉනිමේ රැස්කළ ලකුණු 79 කැපී පෙණුනා. එමෙන්ම රාජකීය කණ්ඩායමේ නායක මහේෂ් රොද්‍රිගෝ විසින් විවිල් ඩයස් හට නැවතත් පිතිකරණය සඳහා ආරාධනා කළේ විවිල් ලකුණු 8ට දැවීයාමෙන් අනතුරුවයි. විවිල් ගේ උඩපන්දුව රැකගත් ආකාරය පිළිබඳව මහේෂ් රොද්‍රිගෝ සෑහිමකට පත්වූයේ නැත. තරගයේ ජීවගුණය රකිමින් එවැනි අතිවිශිෂ්ට තීරණයක් ගැනීම පිළිබඳව බොහෝදෙනෙකුගේ පැසසුමට මහේෂ් ලක්වුණා.


එම තරගයට ක්‍රීඩාකළ ක්‍රීඩකයින්>

රාජකීය කණ්ඩායම
මහේෂ් රොද්‍රිගෝ (නායක), ඇම්. කාසිපිල්ලෙයි, ජී.ටී. කපුකොටුව, ජී.ඇල්.ජී. කුරේ, ටී. පරතලිංගම්, සී.ඩී.ඇල්. ප්‍රනාන්දු, පර්සි ගුණවර්ධන, ඇෆ්.ඊ. පොරිට්, විමල් වික්‍රමසූරිය, ආර්. රාජරත්නම්, ආර්. එස්, කුක්. 

වෙස්ලි කණ්ඩායම
එඩ්මන්ඩ් දිසානායක (නායක), ඇලන් රත්නරාජා, පියසිරි අබේවර්ධන, හැරල්ඩ් මතායස්, නැටී ප්‍රින්ස්, ඩෙනිස් වැන් ට්වෙස්ට්, බර්ටස් පෙරේරා, ක්ලයිව් බර්තොලොමියුස්z, එරික් නුගේරා, විවිල් ඩයස්, සිංහ ජයසුන්දර, රොනල්ඩ් ගෝමස්. 
 
ප.ලි. -
මුල්මවරට ජාතික විනිසුරුවරුන්ගේ සංගමයට මෙම තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට පාසල් ක්‍රිකට් සංගම් විසින් ආරාධනා කළේ මෙම තරගයේදී යි.

Image Courtesy:
1) Daily News
2) Credit to Oroginal owner

Source:
1) Sunday Times (1996 December)

aq photo 635339848091716130317_zps7olcilbi.png

Thursday, March 4, 2021

List of Sri Lankan Cricket Jerseys - 2

2021 Sri Lanka vs West Indies T20I Series


2021 Sri Lanka vs England T20I Series
Same Jersey design but new sponsor logo.


2021 Sri Lanka vs South Africa ODI series


2021 WT20




2022 Sri Lanka vs Australia


2022 Asia Cup



2022 T20 WC


2023 Sri Lanka vs Afghanistan ODI Series

2023 CWC Qualifier














aq photo 635339848091716130317_zps7olcilbi.png

Monday, February 22, 2021

හතරේ සීමාවේ උපත

ක්‍රිකට් හි ආරම්භයේ දී නිශ්චිත හතරේ සීමාවක් පැවතුනේ නෑ. ඉතා දිගු පහරක් එල්ල කළේ නම්, ඕනෑ තරමක් දිවීමෙන් ලකුණු රැස්කළ හැකියි. 

යම් වාර්තාවල සඳහන් වනවා, එවැනි පහරක් එල්ල කළ අවස්ථාවක පන්දුව ගසක අත්තක් මත රැඳී තිබියදී පිතිකරුවන් 270ක් පමණ දිවීමෙන් රැස්කළ බව. (පන්දුව බිමට ගැනීමට භාවිතා කර ඇත්තේ Shot Gun එකකි)

1740 දී පමණ ක්‍රිකට් හි තොටිල්ල ලෙස සැලකෙන හැම්බ්ල්ඩන් හී දි Bat & Ball Inn හි ඉඩම් අයිතිකරු සහ ක්‍රිකට් ක්‍රීඩක රිචර්ඩ් නයිරන් ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට පැමිණෙන ජනයා වෙනුවෙන් ආහාර පාන සපයන කූඩාරමක් ස්ථාපනය කළේ පිටිය අසළින්මයි. 

ඉතින් එවැනි කූඩාරමක්, තරගයක ලකුණු සීමාව ලෙස සැළකීමට එකල ක්‍රීඩකයින් තීරණය කරන්නට බලපෑවේ, කෙතරම් දිගු පහරක් එල්ල කරද තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් ගේ බාධා මධ්‍යයේ ඔවුන්ට නිසි පරිදි වැඩි ලකුණු ප්‍රමාණයක් දිවීමට නොහැකි වීම නිසා.

එක් මුලාශ්‍රයක පහත පරිදි සඳහනක් තිබෙනවා,

"To drive the ball beyond the booth, Duke Dorset had the bent" 

Booth ලෙස සඳහන් වන්නේ, ඉහත පැවසූ අයුරින් තරගයක් සඳහා ආහාර පාන ලබාදෙන කූඩාරමයි. එය එකළ ලකුණු සීමාව බවට පත්ව තිබුණත්, එය තරගයෙන් තරගයට, ස්ථානයෙන් ස්ථානයට වෙනස් වුනා. 

එම ස්ථාපනය ව තිබූ කූඩාරම් ඉලක්ක කරමින් ලකුණු රැස්කිරීමට එකල ක්‍රීඩකයින් පුරුදුව සිටියා. ඒ අනුව, එවැනි ඉලක්කයකට නිසි පහරක් එල්ල කළේ නම්, එම පන්දුව අජීවි එකක් ලෙස සලකා නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පිතිකරුවාට හිමිවුණා. 

1815 දී හැම්ප්ෂයර් ක්‍රොනිකල් හී විශේෂ ක්‍රීඩා ලිපියක මෙවැනි අවස්ථාවක් නිසා සිදුවූ මතභේදයක් සඳහන්ව තිබෙනවා. එක් තරගයක, ලකුණු සීමාවක් ලෙස සැලකෙන එක් කූඩාරමකට එල්ල කර, පිතිකරුවා කඩුල්ලේ සීමාවෙන් ඉවතට යෑමෙන් අනතුරුව ඔහුව දුවද්දි දැවී යාමකට හසුකරගත් බවට ඉල්ලිමක් කළ විට දෙපාර්ශවය අතර මතභේදයක් හට ගැණුනා. ඒ වනවිටත් මෙම ලකුණු සීමාවන් නිසි අයුරින් නිත්‍යානුකූල නොවීම එයට හේතුව යි.

1833 දී පමණ එංගලන්ත පිළ සහ සසෙක්ස් පිළ අතර පැවති තරගයේ දී පිතිකරුවන් එල්ල කරන පහරවල් රැක ගැනීමට පිටියට දිව එන සසෙක්ස් ප්‍රේක්ෂකයින් නිසා එවැනි පන්දු "Booth-Ball" එකක් ලෙස සලකා ලකුණු ලබාදෙන්නට සිදුවූ බව වාර්තා වනවා. පෙර පැවසූ පරිදි Booth-Ball ලෙස සලකන්නේ නිශ්චිත සීමාවකට පැමිණීමෙන් පසු ලබාදෙන නිශ්චිත ලකුණු ප්‍රමාණයයි.

ඉතින් මෙවැනි ක්‍රියා නිසා එකල විනිසුරුවරුන්ට රාජකාරිය ඉතාමත් අසීරු වුනා. ඔවුන්ට, එවැනි Booth-Ball අවස්ථාවක් නිසි ලෙස සඳහන් කිරීමට කාලය පවා ගත වුනා. 

1860 මැද භාගය පමණ වනවිට හතරේ සීමාව ක්‍රීඩකයින්ගේ එකඟතාවය මත පිටිය වටා සුදු පැහැති කොඩි පිහිටුවමින් නිරූපණය කළා. සමහ‍ර තරගවල එවැනි කොඩියක් දක්නට ලැබුනේ පිටියේ එක් ස්ථානයක විතරයි. ඒ වගේම සුදු පැහැති තීන්ත පිටිය වටා ආලේප කිරීම, ඉන් පසුව කෙටි උසක් සහිත වැටක් ආධාරයෙන් හතරේ සීමාව සලකුණු කිරීම දක්වා වර්ධනය වුනා. අද හතරේ සීමාව, වෙළඳ දැන්වීම් සඳහා වෙන්කර ඇති අතර ක්‍රීඩාවට මුදල් පොම්ප කර දෙන අගනා අවස්ථාවක් බවට පත්ව තිබෙනවා. 

ප.ලි. - ඉහත සඳහන් කළ රිචර්ඩ් නයිරන්, ක්‍රිකට් හි මුල්ම වමත් පිතිකරුවන් කිහිපදෙනාගෙන් අයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ වමත් පිතිකරුවන් අතිශය දුර්ලභ වුනා එම සමයේදි. 19 වන ශතවර්ශයේ අගභාගයේ දී පමණ පළමු පෙළ ක්‍රීඩක සහ ශර්ලොක් හෝමස් රචක ආතර් කොනන් ඩොයිල් වැන්නන් වමත් පිතිකරුවන් ක්‍රීඩා කිරීමට පවා එරෙහි වුනා.



මූලාශ්‍ර: the cricketer 1960

aq photo 635339848091716130317_zps7olcilbi.png


Friday, December 25, 2020

ලොබ් පන්දු යැවීමේ ආරම්භය, එහි විප්ලවීය වෙනස් කම සහ අවසානය

සිදුවීම:
1816 වසරේ දී පමණ පෙර එක් ක්‍රීඩකයෙක්, රවුන්ඩ් ආර්ම් ක්‍රමයට පන්දු යවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකම සිද්ධාන්තයක් සම්පූර්ණයෙන්ම කණපිට හරවමින්.




(කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩක) ජෝන් විල්ස් නම් ඔහු මෙම ක්‍රියාව සිදුකරන අයුරූ දැක එම තරගයේ විනිසුරු එය නිපන්දුවක් ලෙස තීරණය ලබාදෙන අතර ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සංශෝධනයක් සිදුවනවා. ඒ, එලෙස පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බව. නමුත් 1822 වසරේ දී කෙන්ට් සහ මාලිබෝන් ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ජෝන් විල්ස් විසින් නැවතත් ඉහත සඳහන් කළ රවුන්ඩ් ආර්ම් පන්දු යැවීම සිදු කරන අතර එයටත් අත්වන්නේ පෙර පැවසූ ඉරණමයි.  විනිසුරුගේ තීරණයට එරෙහි වෙන ජෝන් විල්ස් කෝපයට පත්ව තරගය අත් හැර දමා තම අශ්වයා පිටේ නැග පිටත්ව යනවා.

ඉතිහාසය:
1744 දී මුල්වරට ක්‍රිකට් හි නීති නිසි අයුරින් සම්පාදනය වී ඉන්පසුව වරින් වර එහි සංශෝධනයන් දක්නට ලැබුනා. කිසිදා වෙනස් නොවූ නීති රීතින් අතර 'යාර 22 තණතිල්ල' ප්‍රමුඛස්ථානයක් ගන්නවා. නමුත් පන්දු යැවීම, පිත්තේ දිග, පළල, කඩුල්ල මුවා කිරීම, වැනි මූලික දෑ ක්‍රිකට් ඉතිහාසයේ නිතරම වෙනස්වීම් වලට භාජනය වුනා. 

1744 නීති හඳුන්වා දීමේ දී පන්දුව යැවිය යුතු ඉරියව්ව පිළිබඳව කිසිදු හැඳින්වීමක් සඳහන්ව තිබුනේ නෑ. එම කාලයේ දී පන්දුව යොමුකරන්නන්ගේ ක්‍රියා පටිපාටිය වූයේ පන්දුව තණතිල්ල දිගේ යැවීමයි (පන්දුව කිසිදු අවස්ථාවක ඉපිලීමට ඉඩ දුන්නේ නෑ).

විප්ලවීය වෙනස්කම:
1760 පමණ වනවිට ක්‍රිකට් හී මූලිකත්වය ගෙන කටයුතුකළ හැම්ප්ෂයර් හි හැම්බ්ල්ඩන් ක්‍රිකට් සමාජය (MCC යට සම්බන්ධයක් නොමැත), විසින් ක්‍රිකට් පිත්ත සැකසිය යුතු ආකරය පැහැදිළි කළ අතර ඒ අනුව ඒ වන තෙක් වක්‍ර හැඩයක් ගත් (හොකී පිත්තට සමාන) ක්‍රිකට් පිත්ත ඍජු හැඩයක් ගනිමින් ක්‍රිකට් හි මුල්ම විශාලතම සංශෝධනය සිදුවිය.




එවකට පන්දුව බිම දිගේ ඉලිපිමෙන් තොරව පැමිණෙන පන්දුවට වක්‍ර වූ පිත්තෙන් පහර දීමට පහසු වූවත් ඍජු හැඩැති පිත්තෙන් එය අපහසු වීම නිසා පන්දුයවන්නන් හට පන්දුව පොළවට පතිත කර ඉලිපීමෙන් පන්දු යැවිය හැකි බවට හැම්බ්ල්ටන් සමාජය ප්‍රමුඛ ක්‍රිකට් විශාරදයින් ක්‍රිකට් නීති පොත සංශෝධනය කළා. 

ඉන් පෙර වක්‍ර පිත්ත භාවිතා කරන සමයේ අද මෙන් ආරක්ෂිත පහරවල් (Defensive Strokes) කිසිවක් පිතිකරණයේ දී දක්නට නොලැබීමත් සුවිශේෂයි. නමුත් පන්දුව ඉලිපීමෙන් පිතිකරුවාට පැමිණෙන විට ආරක්ෂිත වන්නට සිදුවීම නිසාම (for stopping & blocking) එවැනි පහරවල් වල ආරම්භය ද 1770 දශකයේ දී වාර්තා වුනා.  

එංගලන්තයේ ජෝන් නයිරන් විසින් 1832 දී එක් ලිපියක, 1744 කෙන්ට් සහ එංගලන්ත පිළ තරගයත් 1760න් පසු තරගයත් සසඳමින් පැහැදිලි කළේ 1744 තරගයේ දී භාවිතා කළ පිත්ත රාත්‍රී භෝජණය සඳහා පැරැණ්නන් විසින් භාවිතා කළ පිහියකට සමාන බවයි. නමුත් Length පන්දු වලට මුහුණ දීමට සිදුවීම නිසා 1760න් පසු ඍජු පිත්තේ අවශ්‍යතාවය දැඩි විය. ඒ අනුව පැහැදිලි වන්නේ, වර්තමාන ක්‍රිකට් හි පන්දු යැවීමේ පරිණාමයේ විශාලතම වෙනස්කමක් සිදුවන්නේ 1760 හැම්ප්ෂයර් හී දී බවයි.



18 වන ශතවර්ෂයේ ශ්‍රේෂ්ටතම ක්‍රීඩකයින් අතර එඩ්වර්ඩ් "ලම්පී" ස්ටීවන්ස් ට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. ලම්පී මෙම පන්දුව පන්දුව බිම දිගේ නොයවා පා කර, පන්දුව පතිත කර යැවීමේ ශෛලියට බෙහෙවින්ම ප්‍රිය කළ අතර එහි වාසිය පිළිබඳවත් අන් අයට පැහැදිළි කළා. එමෙන්ම ජෝන් ස්මෝල් ක්‍රීඩකයා විසින් පසුකළක ක්‍රිකට් පිති නිෂ්පාදනයේ දී ඍජු පිත්තට වැඩි අවධානයක් යොමු කළා.



නැවතත් ඉහත සිදුවීමට:
ඉතින්, ජෝන් විල්ස් ගේ පන්දු යැවීමට විනිසුරුවරයා එරෙහි වුනේ එය නිත්‍යානුකූල නොවන නිසා. සරළවම ඔහු Throw කරන බවට විනිසුරු දැනුම් දුන්නා.  (ක්‍රිකට් හි ආරම්භයේ දී Throwing යන වදන එක්වන්නට හේතුව වූයේ නිත්‍යානුකූල නොවන පන්දු සඳහා යි, පන්දුව අතින් විසි කිරීම හෝ දමා ගැසීමට නොවේ. එමෙන්ම Bowling යන වදන  විසින් පැහැදිළි කළේ පන්දුව තණතිල්ල දිගේ යැවීම නොව ක්‍රිකට් නීතිප්‍රකාරව යවන ලද පන්දු යැවීම් සඳහායි.). 

ඉතින් මේ සිදුවීම නිසාම මෙම පන්දු යැවීමේ ශෛලිය පිළිබඳව කතිකාවක් එකළ ක්‍රිකට් සමාජයේ බිහිවුනා. ඒ අනුව 1828 වසරේ MCC ය විසින් (MCC ය හෙවත් මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ක්‍රිකට් නීති සකස් කිරීමේ ආයතනය යි) රවුන්ඩ් ආර්ම් පන්දු යැවීමේ ශෛලිය නිත්‍යානුකූල කරන නමුත් පන්දුව යැවිය හැක්කේ පන්දුයවන්නාගේ වැලමිටට සම මට්ටමේ සිටයි. 

නමුත් මෙම නීතිය 1836 වසරේ දී නැවතත් සංශෝධනයට ලක්ව පන්දුව උරහිස් මට්ටමේ සිට තිරස්ව පන්දු යැවිය හැකි බවත් උරහිසට ඉහළින් පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවත් ප්‍රකාශයට පත් කළා. එතැන් සිට 1864 වසර තෙක් වරින් වර උරහිසට ඉහළින් පන්දු යැවූ අවස්ථා වාර්තා වන අතර ඒ සියල්ලම Throwing ලෙස විනිසුරුවරුන් තීරණය ලබා දී තිබෙනවා. 

1864 වසරේ දී වර්තමානයේ භාවිතා වන රවුන්ඩ් ආර්ම් ශෛලිය නීත්‍යානුකූල වූ අතර රවුන්ඩ් ආර්ම් ක්‍රමය සහ අන්ඩර් ආර්ම් ක්‍රමය නීති විරෝධී වූයේ නෑ. දොස්තර විලියම් ගිල්බර්ට් ග්‍රේස් වැනි ක්‍රීඩකයින් 19 වන ශතවර්ෂයේ අගභාගය වන තෙක්ම භාවිතා කළේ රවුන්ඩ් ආර්ම් ශෛලියයි. 

අවසන් ලොබ් පන්දු යවන්නා:
අන්ඩර් ආර්ම් පන්දු යැවීම නොහොත් ලොබ් පන්දු යැවීම අවසන් වරට පළමු පෙළ ක්‍රිකට් හී නිතරම භාවිතා කළ පන්දු යවන්නාගේ විශ්‍රාමය සිදුවන්නේ 1914 දීයි. එංගලන්ත ජාතික කණ්ඩායමට ද ක්‍රීඩා කළ ජෝර්ජ් සිම්ප්සන් හේවර්ඩ්, අන්ඩර් ආර්ම් පන්දු යැවීම අවසන් වරට භාවිතා කළ විශේෂඥ පන්දු යවන්නා යි.


ලොබ් පන්දු යැවීම තහනම් කිරීම:
“…a disgraceful performance…should never be permitted to happen again”. “We keep reading that the players are under a lot of pressure; perhaps they might advance that as an excuse…not with me they don’t. It was a very poor performance, one of the worst things I have ever seen on the cricket field.

"අශිෂ්ටයි....මෙය නැවත සිදුනොවීමට වගබලාගත යුතුයි". "අප දන්නවා ක්‍රීඩකයින් කෙතරම් පීඩනයකට ලක්ව ඇත්ද යන්න, නමුත් එය මට අනුව නිදහසට කරුණක් නොවේ. එය ඉතා දුර්වල හැසිරීමක්, ක්‍රිකට් පිටිය තුළ මා දැක ඇති නරකම අවස්ථාවක්"

මේ, රිචී බෙනෝ විසින් 1981 වර්ල්ඩ් සීරිස් තරගාවලියේ තෙවන අවසන් තරගය අවසන් වූ වහාම පැවසූ ප්‍රකාශය යි. නවසීලන්ත කණ්ඩායමට ලකුණු සමකිරීම සඳහා අවසන් පන්දුවට ලකුණු 6ක් අවශ්‍යයව තිබූ අවස්ථාවක ට්‍රෙවර් චැපල් විසින් ඔහුගේ වැඩිමහල් සොහොයුරු සහ කණ්ඩායමේ නායක ග්‍රෙග් චැපල් ගේ උපදෙස ක්‍රියාත්මක කරමින් අන්ඩර් ආර්ම් ක්‍රමයට පන්දු යැවූ අතර එය නැරඹු ක්‍රිකට් ප්‍රේක්ෂකයින් සහ විශාරදයින් හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළා.




තරගයට පෙර කලක් තිස්සේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලකයින් සමඟ ගැටුම් ඇතිකරගෙන් විරසකයට පත්වූ ග්‍රෙග් චැපල් ඉහත අවස්ථාව එම පරිපාලකයින්ට එරෙහිවීමක් ලෙස ග්‍රෙග් මෑතකදී සම්මුඛ සාකච්ඡාවක දීභෙළි කළේ ය.

"He is stubborn (in that game) and he is a chappell afterall" - Rod Marsh

ඕස්ට්‍රේලියානු හිටපු කඩුලු රකින්නා රොඩ් මාර්ෂ් එම තීරණයට තම නොසතුට පළ කළේ එම තරගයේ දීමයි. ග්‍රෙග් සහ ට්‍රෙවර් ගේ වැඩිමහල් සොහොයුරු ඉයන් චැපල් ද එම සිදුවීමට තම නොසතුට පළ කළේ ලිපියක් පළ කරමින්. 


ට්‍රෙවර් චැපල් ගේ අන්ඩර් ආර්ම් පන්දු යැවීමෙන් පසු ක්‍රිකට් නීති පද්ධතියේ ලොබ් පන්දු යැවීම නීති විරෝධි බවට MCC ය ප්‍රකාශයට පත්කළ අතර වසර 300ක් පමණ පැරණි පන්දු යැවීමේ මුල්ම නිත්‍යානුකූල පන්දු යැවීමේ ශෛලිය ඉතිහාසයට එක්වුනා.

- Aqeeb


Saturday, October 10, 2020

යුද හමුදා ක්‍රීඩා සමාජයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාඩමක් ! , තෙනුධරන් ගේ උඩ පන්දුවට විදෙස් ක්‍රීඩකයින්ගෙන් පැසසුම්.

මේ දිනවල පැවැත්වෙන Army Commander's League (යුද හමුදාපති ලීගය) තරගාවලියේ විශිෂ්ට දස්කම් රැසක් නවක ක්‍රීඩකයින්ගෙන් දක්නට ලැබීම අපූරු සිදුවීමක් විය. කණ්ඩායම් 4කින් සමන්විත වන මෙම තරගාවලියේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්ට අමතරව මෙරට වෙනත් ක්‍රීඩා සමාජ නියෝජනය කරන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන් දායකත්වය ලැබීම විශේෂ කරුණක්. 

මෙම තරගාවලියේ මූලික වටය දොඹගොඩ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර බොහෝ දෙනෙකුගේ අදහස වූයේ මෙම ක්‍රීඩාංගණය මනරම් වටපිටාවක් පවතින අනර්ඝ මට්ටමේ ක්‍රීඩාංගණයක් බවයි. 

දේශීය ආයතන 4ක අනුග්‍රහත්වය හිමිවන මෙම කණ්ඩායම් 4 කරට කර සටනක් නිරූපණය කරමින් පවතින කොරෝනා වසංගත කාලසමයේ ප්‍රේක්ශකයින්ගේ ක්‍රිකට් පිපාසය නිමා කිරීමේ ගෞරවය ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදිය යුතුයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දේශිය ක්‍රීඩකයින් හට සීමිත පන්දුවාර තරගාවලි පවත්වා මාස 16ක පමණ කාලයක් ගතව ඇති අතර පසුගිය වසර 5 පමණ කාලය සැසඳීමේදී මෙරට පළමු පෙළ මට්ටමේ සීමිත ඕවර තරග (පන්දුවාර 50 සහ 20) සඳහා දුර්වල අවධානයක් යොමුකිරීම සහ තරගකාරී ස්වභාවය ඉතාමත් අල්ප වීම නිසාවෙන් මෙරට ක්‍රීඩකයින්ගේ දස්කම් හීනවීමටත් ජාත්‍යන්තර සීමිත ඕවර තරග තුළ අප ක්‍රීඩකයින් නිසි අයුරින් දස්කම් නොදැක්වීමට ප්‍රබල හේතුවක් බවටත් පත්ව ඇත. 

LPL වැනි තරගාවලියක් කොවිඩ් වසංගත කාල සමයේ පැවැත්වීමට ක්‍රිකට් ආයතනය විසින් නිසි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් (Risk Management Procedure) අනුගමනය කළා දෝ යන සැකය බොහෝදෙනෙක් හට මතුව තිබෙනවා. 

ඔවුන්ගේ දුර්වල ක්‍රීඩා ප්‍රතිපත්තිය ට එරෙහිව යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් පැවැත්වූ මෙම තරගාවලියේ විශේෂ දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නම් වශයෙන්;

ප්‍රියන්ත රත්නායක - ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉතාමත් හොඳ ලකුණු සම්බන්ධතා පිහිටුවමින් ලකුණු රැස්කිරීමට ප්‍රියන්තට හැකිවිය.

ගිහාන් කෝරලගේ - නවක පිතිකරුවෙකු වන ගිහාන් අවසන් පන්දුවාර 5-6 දී ලකුණු රැස්කිරීමේ වේගය ඉහළ දැමීමට හැකි ක්‍රීඩකයෙකි. 

සුමින්ද ලක්ෂාන් - පා දඟ පන්දු යවන්නෙකු වන සුමින්ද ලක්ෂාන් ගේ කඩුලු දවාගැනීමේ හැකියාව විශිෂ්ට විය.

රවිඳු තිලකරත්න - චයිනමන් පන්දුයවන්නෙකු වන රවිඳු තිලකරත්න ගේ කඩුලු දවාගැනිමේ හැකියාවද ඉහළ මට්ටමක විය. 

ලක්ෂාන් එදිරිසිංහ - මැද පෙළ පිතිකරුවෙකු මෙන්ම ලකුණු රැස්කිරීමේ වේගය ද ඉහළ මට්ටමක රඳවා තබාගන්නා ක්‍රීඩකයෙක් ලෙස ලක්ෂාන් එදිරිසිංහ නම්කළ හැකියි.

සමිත වනිගසේකර - පහසුවෙන් හයේ පහරවල් එල්ල කළ හැකි, ආරම්භයේ සිටම පන්දුයවන්නන් හට එරෙහිව ඉක්මනින් ලකුණු රැස්කළ හැකි පිතිකරුවෙකි.

යශෝධ මෙන්ඩිස් - මද වේග පන්දුවෙන් මෙන්ම අවශ්‍ය ඕනෑම විටක වැරෙන් පන්දුවට පහරදිය හැකි නො 6-7 පිතිකරුවෙකු ලෙස යශෝධ මෙන්ඩිස් හැඳින්විය හැකියි.

රත්නරාජා තෙනුධරන් - මද වේග පන්දු යවන්නෙකු වන තෙනුධරන්, පන්දුව දෝලනය කිරීමෙන් සහ ස්ථානොචිත අයුරින් පන්දු යැවීම, විශිෂ්ට පන්දු රැකීම බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ කරුණු විය. ඔහු විසින් රැකගත් විශිෂ්ට උඩපන්දු අද වනවිට විදෙස් සමාජ ජාල ගිණුම් හරහා ද හුවමාරු වෙමින් විදෙස් ක්‍රීඩකයින්ගේ පැසසුමට ලක්වී ඇත. 

තෙනුධරන් ගේ ඉහත දස්කම් දැක්වීමෙන් අනතුරුව ඔහු මාධ්‍යය වෙත පැවසුවේ, තණකොළ සහිත පිටියක අපහසු උඩ පන්දුවක් රැකගැනීම සඳහා උත්සහ කිරීම ඔහු ප්‍රියතාවයක් දක්වන අතර සහ මඩකලපුවේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩා කළ සමයේ එවැනි තණකොළ සහිත ක්‍රීඩාංගණ නොතිබීම එවැනි දස්කම් දැක්ගන්නට නොලැබීමට හේතුවක් බවයි.

මෙම ක්‍රීඩකයා යුද හමුදා තරගාවලියේ දී දස්කම් දැක්වීමෙන් අනතුරුව හැඟී යන්නේ, මෙවැනි ක්‍රීඩකයින්ට ඉදිරියට ඒම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැඩපිළිවලක් පවතිනවාද යන කරුණයි. 

දේශිය ක්‍රිකට් සමාජ පළමු පෙළ තරගාවලියට පෙර, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සෑම පාසලකම සිසුන් අතර දක්ශ ක්‍රීඩකයින් සහ ජාතික තලයේ ක්‍රීඩකයින් සමිශ්‍රව පළාත් වශයෙන් තරගාවලියක් සංවිධානය කර එම දක්ශතා පදනම් කරමින් ඔවුන්ට නිසි ඇගයිම් ලබාදීම ක්‍රිකට් ආයතන විසින් සිදුකළ යුතුමයි. 

මෙරට උතුරු, නැගෙනහිර පළාත් වල ක්‍රීඩකයින් පාසල් තරග තුළ විශිෂ්ට දස්කම් දැක්වූවද ඔවුන් ගේ ක්‍රිකට් අනාගතය ඉන්පසු වැළලී යාම අභාග්‍යය සම්පන්නයි. එයට හේතු බොහෝමයක් ඇතත් මූලික හේතු 2ක් මත ඔවුන් ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවක් කෙරෙහි ඔවුන්ගේ අවධානය පාසල් ගමනින් පසු නතර කරති.

1) ක්‍රිකට් ආයතනයට එවැනි ක්‍රීඩකයින් දිරිමත් කිරීමට නිසි වැඩපිළිවලක් නොතිබීම සහ එවැනි වැඩපිළිවලක් පිහිටවූවද  එය දීර්ඝ කාලීන නොවීම.

2) ඔවුන්ට මුදල් වියදම් කරමින්, බොහෝ දුරක් ගෙවා කොළඹට පැමිණ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමේ අපහසුතාවය (කොළඹ ආශ්‍රිතව දේශිය පළමු පෙළ තරගාවලිය කේන්ද්‍රගත වීම නිසා)

මේ සඳහා විසඳුම් සෙවීමට හැකිවුවහොත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ශිඝ්‍ර දියුණුවක් කරා ගමන් කිරීම දක්නට ලැබිමට අප වාසනාවන්ත විය හැකියි.

තෙනුධරන් ගේ උඩ පන්දුව !

රත්නරාජා තෙනුධරන් ගේ උඩ පන්දුව ට ට්විටර් සමාජ ජාලයෙන් ලැබුණු ප්‍රතිචාර කිහිපයක් (හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, විස්ඩන් සඟරාව, සිනමා පිටපත් රචකයෙක් විසින්, පුහුණුකරුවන්)






















@Aqibmzm
10/10/2020